Tuesday, March 14, 2017

ඉන්ධන කෝෂ විද්‍යුත් රථ (හයිබ්‍රිඩ් කාර්, විද්‍යුත් කාර් සහ ඉන්පසු...)

 කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත මෝටර් රථය එලිදැක්වීමෙන් වසර 130කට පසු මේ වන විට මෝටර් රථ ක්ෂේත්‍රය ඉතාම දියුණු මෙන්ම කාර්යක්ෂම තලයක පවතීය යන්න අවිවාදිත කරුණකි. වර්ථමානයේ අභ්‍යන්තර දහන එන්ජිමෙන් නොනැවතී, දෙමුහුන් එන්ජින් (Hybrid Engines) මෙන්ම, සම්පූර්ණයෙන්ම විදුලියෙන් පමණක් ධාවනය වන මෝටර් රථද (Electric Automobile) ඉතා සාර්ථක අයුරින් ලොව පුරා භාවිතා වෙයි.

අභ්‍යන්තර දහන එන්ජින් මෙන්ම දෙමුහුන් රථයන්ද තවමත් ෆොසිල ඉන්ධන ( Fossil Fuel ) මත යැපෙයි. එනම් පරිසර දූෂණයට සෘජු දායකත්වයක් සපයයි. පූර්ණ විද්‍යුත් රථ වැඩි කාර්‍යක්ෂමතාවයකින් බලශක්තිය භාවිතා කලද විදුලිය උත්පාදනයේදී බොහෝවිට මෙම ෆොසිල ඉන්ධන භාවිත වන බැවින් මෙම විද්‍යුත් මෝටර් රථද පූර්ණ පරිසර හිතකාමී ඝණයෙහිලා සැලකිය හැකි නොවේ.

නමුත් මේ වනවිට වඩාත් පරිසර හිතකාමී මෙන්ම ලාභදායී, ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවය සහිත වෙනත් මාදිලියක මෝටර් රථ වර්ගයක් නිෂ්පාදනය කර භාවිත කරන අතරම වැඩිදියුණු කෙරෙමින් පවතී. එනම් ඉන්ධන කෝෂ භාවිතයෙන් ධාවනය වන ඉන්ධන කෝෂ විද්‍යුත් රථයි (FCEV).
මෙම මෝටර් රථයන්හී විශේෂතා කීපයකි.

1. ධාවනය සඳහා ඉන්ධන ලෙස හයිඩ්‍රිජන් භාවිතා කරයි.
2. හයිඩ්‍රිජන් භාවිතා කරමින් රථය තුලදීම විදුලිය ජනනය කරගනී.
3. මෝටර් රථය ධාවනය වන්නේ මෙම විද්‍යුත් බලයෙනි.



ඉන්ධන කෝෂ විද්‍යුත් රථද (FCEV) විද්‍යුත් මෝටර් රථ වර්ගයක්ම වන අතර විශේෂත්වය අවශ්‍ය විදුලිය තමා විසින්ම නිපදවාගැනීමයි.මෙහිදී දෙමුහුන්  එන්ජිමකින් මෙන් ඉන්ධන දහනයෙන් සහ විදුලි උත්පාදක යන්ත්‍රයක භාවිත කිරීමෙන් විදුලිය නිපදවීම සිදු නොකරයි. ඒ වෙනුවට මෙහිදී අවට වාතයේ ඇති ඔක්සිජන් උරාගනිමින්, රථය තුල අඩි පීඩනයක් යටතේ ගබඩාකොට ඇති හයිඩ්‍රිජන් සමග පාලිත තත්ව යටතේ රසායනික ප්‍රතිකියාවක් මගින් විද්‍යුතය නිපදවාගනී.

එබැවින් රසායනික ප්‍රතිකියාවේ ඵලය ලෙස ජලය පමණක් ඉතිරි වෙයි. අධික තාපයක් පිටනොකරන බැවින් ඔක්සිජන් සමග වාතය සමඟ ඇතුල්වන නයිට්‍රිජන්,අභ්‍යන්තර දහන එන්ජින් මෙන් නයිට්‍රිජන් ඔක්සයිඩ් හෝ නයිට්‍රිජන් ඩයොක්සයිඩ් ලෙස නොව නැවත එලෙසින්ම වායුගෝලයට මුදාහරී.

එනම් මෙම රථ පරිසරයට ජලය පමණක් මුදාහරින අතරම තාපයක්ද පිට නොකරන බැවින් පරිසර හිතකාමීත්වය අතින් ඉතාම ඉදිරියෙන් සිටී.

2013 වර්ෂයේ Business Insider සඟරාවේ මෙම තාක්ෂණය පිළිබඳව ලිපියක් මුලින්ම පළවුවද, අද වන විට ඉතා දියුණු තාක්ෂණයක් බවට පත්ව ඇති මෙම මෝටර් රථ හොන්ඩා, ටොයෝටා මෙන්ම හයිහුන්ඩායි සමාගමෙන් පවා නිෂ්පාදනය කරණු ලබයි. ටොයෝටා සමාගමේ මිරායි (Mirai) රථය, හොන්ඩා සමාගමේ ක්ලැරිටි(FCX Clarity) රථය සහ හයිහුන්ඩායි සමාගමේ ටක්සන් (Tucson ) රථයේ FCEV මාදිලිය මේ අතරින් ඉදිරියෙන්ම සිටී.

Honda FCX Clarity
Toyota Mirai

Hyundai Tucson
අප රටට ආගන්තුක වුවද වර්ථමානයේ මෙම ඉන්ධන කෝෂ තාක්ෂණය කාර් සඳහා පමණක් සීමා නොවී බස්, කෝච්චි, බෝටටු, ප්ලේන් මෙන්ම මොටෙර් බයිසිකල් සහ පෝක්ලිෆ්ට් සඳහාද භාවිතාවන බවයි බොහෝ අන්තර්ජාල මූලාශ්‍ර මගින් පැවසෙන්නේ.

නමුත් මෙහි ඉන්ධනය ලෙස භාවිතාවන හයිඩ්‍රිජන් ලබාදෙන ඉන්ධන සහ සේවා මධ්‍යස්ථාන පිහිටුවන ආයතන බහුල නොවීම නිසා තවම ලොව පුරා මෙන්ම අප රටේද ජනප්‍රියත්වයට පත් වී නොමැති වුවද IEEE Seprctrum  සඟරාවට ලිපියක් සපයමින් SCOTT SAMUELSEN  සඳහන් කරනුයේ ජපානය, යුරෝපා රට වල මෙන්ම උතුරු ඇමරිකාවේද මෙම සේවා ස්ථාන පිහිටුවීමත් සමඟම ඉන්ධන කෝෂ මොටර් රථ ජනප්‍රිය වෙමින් පවතින බවයි.

මූලාශ්‍ර

1. https://en.wikipedia.org/wiki/Fuel_cell_vehicle
2. http://spectrum.ieee.org/green-tech/fuel-cells/why-the-automotive-future-will-be-dominated-by-fuel-cells

ඡායාරූප අන්තර්ජාලයෙනි.

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...