Tuesday, May 23, 2017

පුණ්‍ය ක්‍රියා -2 (සීලය)

දස පුණ්‍ය ක්‍රියා පිළිබඳ ළිපි මාලාවේ පළමු ළිපිය මෙතනින්.

මේ ළිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සීලය පිළිබඳවයි.

සීලය හෙවත්  සංවර වීම බෞද්ධ මාර්ගයෙහි ආරම්භයයි. සීලයෙන් ආරම්භව සමාධිය හරහා ප්‍රඥාව ලැබීම නිවන් මඟෙහි සරලම දැක්වීමයි. මෙම සීලය මූලිකව කොටස් දෙකකි. එනම් ගිහි සීලය සහ පැවිදි සීලයයි.

සීලය පුරුදු කිරීමේදී කරුණු 3ක් සම්පූර්ණ විය යුතුය.

1. තමන් සීලයෙහි යෙදිය යුතුය. දුස්සීලයෙන් වැලකිය යුතුය.
2. අන් අයට දුස්සීලයෙහි යෙදීමට හෝ යෙදී සිටීමේදී ඊට උදව් නොකල යුතුය.
3. අන් අය සීලයෙහි යෙදවිය යුතුය. ඊට උදවු කල යුතුය.

පැවිදි සීලය මූලික කොටස් 2 කි. සාමණේර සීලය සහ උපසම්පදා සීලය නම් වන එම කොටස් 2 විස්තර කරමින් දේශණා කරන ලද සියළුම දේශණා උපාලි මහරහතන් වහ්න්සේ අග්‍ර වශයෙන් ධරාගෙන සිට උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන, එම දේශණා සියල්ල ඇතුලත් කොටස විනය පිටකය ලෙසින් වෙනම සංග්‍රග ගතව ඇත. මෙම උපසම්පදා සීලය කෙතරම් සංකීර්ණ සහ ගැඹුරු සීලයක්ද යන්න අදහසක් ලබාගත හැකි දේශණයකි දීඝ නිකායෙහි සඳහන් වන බ්‍රහ්මජාල සූත්‍රය. ඒ පිළිබඳව වෙනම ලිපියකින් සාකච්ඡා කරමු.

මෙම ලිපියෙහි විස්තර කිරීමට මූලිකව අරමුණ වන ගිහි සීලයද එදිනෙදා සීලය සහ උපෝසථ සීලය ලෙසින් දෙවර්ගයකි. මෙම සීලයන් පිළිබඳව සූත්‍ර පිටකයෙහි බොහෝ විස්තර සහිත සූත්‍ර දේශණා හමු වෙයි.

එදිනෙදා සීලය

දිනපතා, පැය 24 පුරාම රැකගත යුතු සීලයයි.මෙම සීලය අප සැවොම දන්නා පංච සීලය, ආජීවක අෂ්ඨමක සීලය සහ බ්‍රහ්මචාරී සීලය ලෙසින්  3කි.

පංච සීලය.

’’ස්වාමීන් වහන්ස, කොපමණකින් උපාසකයා සිල්වත් වේද?’’
’’මහානාමය, යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද, අදත්තාදානයෙන් තොර වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද, බොරු කීමෙන් තොර වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ මත්පැන් පානයෙන් තොර වූයේ වේද, මහානාමය, මෙපමණකින් උපාසකයා සිල්වතෙක් වෙයි.’’

සූත්‍ර පිටකය ~ අංගුත්තර නිකාය ~ අට්ඨක නිපාතය ~ ගහපති වග්ගය ~ මහානාම සූත්‍රය

“ගෘහපතිය, කවර පස් වැදෑරුම් භයක් සහ වෛරයක් සංසිඳුවන ලද්දාහුවෙත්ද? 

ගෘහපතිය, සතුන් මරන්නා සතුන් මැරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසික වූද, දුක් දොම්නස් විඳියිද, සතුන් මැරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, සොරකම් කරන්නා සොරකම් කිරීම නිසා ........
“ගෘහපතිය, කාමයන්හි වරදවා හැසිරෙන්නා, කාමයන්හි වරදවා හැසිරීම නිසා .......
“ගෘහපතිය, බොරු කියන්නා, බොරු කීම නිසා මෙලොවද, .......
“ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නා, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය නිසා, මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූ, දුක් දොම්නස් විඳියිද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳෙන්නේ වෙයි. මෙසේ මේ පස්වැදෑරුම් භය සහ වෛරය සංසිඳුනාහු වෙත්."

සූත්‍ර පිටකය ~ සංයුක්ත නිකාය ~ නිදාන වර්ගය ~ නිදාන සංයුත්තය ~ ගහපති වර්ගය ~ පංච භයවේර සූත්‍රය

මෙලෙසින් පංච සීලයෙහි හික්මීම තුලින් භයට, වෛරයට පාත්‍රවිය හැකි ගැටළු 5කින් මිදිය හැකි බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙන සේක. එය පංච සීලයෙන් ලැබිය හැකි මූලිකම ප්‍රතිලාභයයි. එනම් තමාට හෝ තමා නිසා අන් අයට භය සහ වෛරය ඇති වන කරුණු 5න්ම මිදී මානසික සැනසීම උදාකරගත හැකි වීමයි.

2. ආජීවක අෂ්ඨමක සීලය

මෙය කරුණු 8කින් සමන්විත, ආර්ය ශ්‍රාවකයා විසින් රැකියයුතු යැයි නිර්දේශිත, පංච ශීලයට වඩා පියවරක් කුශලය දෙසට නැඹුරු වුනු සීලයකි.

1. සතුන් මැරීමෙන් වැළකීම
2. නොදුන් දේ ගැනීමෙන් වැළකීම
3. කාමය වරදවා හැසිරීමෙන් වැළකීම
4. බොරු කීමෙන් වැළකීම
5. පරුෂ වචන කීමෙන් වැළකීම
6. හිස් වචන කීමෙන් වැළකීම
7. කේළාම් කීමෙන් වැළකීම
8. සුරාවෙන්, මත් වන දෙයින් වැළකීම

මෙහිදී දස කුසලයන්හී දැක්වෙන කයෙන් සහ වචනයෙන් සිදුකරන කුසල් 7ම ප්‍රගුණ කිරීම සිදුවේ.

3. බ්‍රහ්මචාරී සීලය

මෙම සීලය රකිනු කැමති ගිහියා පංච සීලයේ එන කාමය වරදවා හැසිරීමෙන් වැලකීම කියන සිල් පදය වෙනුවට, අබ්‍රහ්ම චරියාවෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙයි. එනම් මෙම සීලය සමාදන්ව සිටින තාක් කල් බ්‍රහ්ම චරියාවෙන් යුතුව වාසය කරයි. එහිදී බ්‍රහ්මචාරී සීලය මෙසේය.

1. සතුන් මැරීමෙන් වැළකීම
2. නොදුන් දේ ගැනීමෙන් වැළකීම
3. අබ්‍රහ්මචරියාවෙන් වැළකීම
4. බොරු කීමෙන් වැළකීම
5. සුරාවෙන්, මත්වෙන දෙයින් වැළකීම

මෙහිදී කැමතිනම් අජීවක අෂඨමක සීලයේ සිල්පදයන්ද, තෙවන සිල් පදය අබ්‍රහ්මචරියාවෙන් වැළකීමේ ලෙස සිල්පදය සමාදන් විය හැක.

උපෝසථ සීලය

"විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.
"විශාඛාවෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. 

1. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්."

මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි.

"මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය" යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

2.ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද,
......මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

3. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද,
........මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

4. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්.
......මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

5. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද,
......මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

6. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්.
......මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

7. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. 
.....මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.

ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, 
.....මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි.මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. 

"මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය"
"විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.

අංගුත්තර නිකාය ~ අට්ඨක නිපාතය ~ උපෝසථ වග්ගය ~ විශාඛා උපෝසථ සූත්‍රය

මෙම පෙහෙවස් සමාදන් වීමේ හෙවත් උපෝසථයේ වැදගත්කම නම්, එදා වෙනදා මෙන් නොව රහතන් වහන්සේලා අනුගමනය කරමින්, උන්වහන්සේලාගේ ගුණ සිහි කරමින්, "ඒ ගුණධර්මයන් මා තුලද වඩවා ගනිමී, ඒ වෙනුවෙන් අද දවස වෙහෙසෙමී" යන අධිෂඨානයෙන් යුතුව, දවස පුරාම, දිවා රාත්‍රී දෙකෙහිදීම ධර්මයේ හැසිරීමට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග පුරුදු කිරීමට වෙහෙසීමයි.


නිති පන්සිල්, පොහොය අටසිල් ලෙස බෞද්ධ සමාජය තුල සීලය එදිනෙදා ජීවිතයේ අංගයක් වූවා සේම පොහොය දිනය විශේෂ වූයේද මෙම සීලය මූලික කොට සැලකූ නිසාවෙනි.

සූත්‍ර පාඨ උපුටා ගැනීම: www.pitaka.lk
Images with thanks: http://www.garyaswaby.com/2013/05/the-battle-for-self-discipline/

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...